තරග පැරදුණොත් හතුරුසිංහත් ඉවරයි… අවාසනාවට මමත් ආණ්ඩුවේ ඉන්න කෙනෙක්…- අර්ජුන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 18, 2018

තරග පැරදුණොත් හතුරුසිංහත් ඉවරයි… අවාසනාවට මමත් ආණ්ඩුවේ ඉන්න කෙනෙක්…- අර්ජුන

“එක් අවස්ථාවක සියලු ක්‍රීඩා සඳහා ඉහළ උන්නතාංශ පුහුණු මධ්‍යස්ථානයක් නුවරඑළියේ හදන්නැයි මම යෝජනා කළා. මේවා කිව්වාම හුඟ දෙනෙක් මට හිනා වුණා. හැබැයි අද ආපහු හැරිලා බැලපුවාම ඒ හිනාවෙලා තියෙන්නේ මට නෙමෙයි. ඒ හිනාවෙලා තියෙන්නේ ඒ අය ඒ අයටමයි…..” යැයි හිටපු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා පවසයි.

මේ බව කියා සිටියේ යෝගානන්ද විජේසුන්දර හරසර අබිමින් සේව් ද ස්පෝර්ස්ට් ප්‍රණාම ‍උළෙ‍ල අමතමිනි.

වසර 50ක් සිය සන්තකයේ ඇති සියලුම දෙය ක්‍රීඩාවේ උන්නතිය උදෙසා නිර්ලෝභීය වැය කළ ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා පුහුණකරු යෝගානන්ද විජේසුන්දර මහතා කළ සේවාව ඇගයීම පිණිස හරසර අබිමන් සේව් ද ස්පෝර්ට්ස් ප්‍රණාම උළෙල (17) පැවැත්වුණේ ‍කොළඹ 07 ‍ටොරින්ටන්හි පිහිටි ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණගාර‍යේදීයි. ඒ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා නිලධාරීන්, විද්වතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙනි.

ප්‍රමණාම උලෙළේදී යෝගානන්ද වි‍ජේසුන්දර මහතා වෙත මුදල් තිළිණය පිරිනැමුවේ මැක්ලරන්ස් ආයතනයේ සම කළමනාකරණ අධ්‍යක්ෂ ෂෙහාරා ජයවර්ධන මහත්මිය‍ විසිනි. සේව් ද ස්පෝර්ට්ස් සමරු කුසලානය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් පිරිනැමිණ. උළෙල අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ යෝගානන්ද විජේසුන්දර මහතා තමන්ට මෙන්ම බොහෝ අයට පරමාදර්ශී චරිතයක් වූ බවයි. එහෙත් මෙවැනි විශිෂ්ටයින් ඇගයීම අද සිදුවන්නේ කලාතුරකින් බවද ඔහු පැවසීය. ඔහු අවධාරණය කළේ ක්‍රීඩා‍ව පැත්තෙන් ගත් විට තාවකාලික විසඳුම් ලබා දෙන ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බවයි.

“දැන් බලන්න පහුගිය කාලවල අපේ ක්‍රීඩකයින්ට ජරාවිදියට කථා කළ දේශලපානඥයෝ හිටියද ? බෝලයක් අල්ලපු නැති බැට් එකක් අල්ලපු නැති සින්දු කියන නටන්න පුළුවන් සමහර අය හිතනවා මේ ක්‍රීඩාංගණයට ගිහින් හැමදේම කරන්න පුළුවන් කියලා. ඒක කරන්න බැහැ. මට මතකයි සමහර අය සුසන්තිකාට මොනවද කිව්වා. එහෙම කියන්නේ මොනවා කරපු අයද ? කොතනද අපි යන්නේ ? දේශපාලනඥයින් වුණත් පත් කරන්නේ මේ රටේ මහජනතාව. මහජනතාවට තමයි අයිතවාසිකම තියන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ. 

ක්‍රීඩකයින්ට අවමානයක් වෙනවා නම් මහජනතාව දැන ගන්න ඕන හරි දේශපාලනඥයින්ව හරි විදියට පත් කරන්න. මම ඉදිරියේදී ක්‍රියාත්මක කරන මගේ‍ දේශපාලන දර්ශනය එය. අද බලන්න ජාතික ක්‍රිකට් කණ්ඩායම තෝරන කොට ක්‍රිකට් පරිපාලනයේ ඉන්න නිලධාරීන්ගේ ක්‍රීඩා සමාජවල කීදෙනෙක් ක්‍රීඩා කරනවද කියලා. ඒවගේම පිට පළාත්වලට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. මෙන්න මේ නිසා තමයි අද ක්‍රිකට් ක්‍රීඩාව විනාශයට ගි‍හින් තියෙන්නේ. තාම අපි පස්ස ඇනගත්තේ නැහැ. හිතන්න එපා මේ ක්‍රිකට් වැටිලා කියලා. 

තාම වැටිලා නැහැ. වැටෙන්න තව කාලයක් යනවා. සමහර වෙලාවට හෙට අනිද්දා අපි දින්නාම හිතයි ඔන්න හරි හතුරුසිංහ ඇවිල්ලා මැජික් කරයි කියලා. එහෙම නැත්නම් තරග පැරදුණොත් අර හතුරුසිංහත් ඉවරයි. ඇත්තටම මේ අපි දාන්නේ තුවාලට චූටි පාස්ටරයක් විතරයි. නමුත් පාස්ටරය දැම්මට සනීප කරන්නේ නැහැ. කාටවත් මේ තුවාල සනීප කරන්න ඕනේ නැහැ. මේක මළල ක්‍රීඩාවේ වෙන්න පුළුවන්. රගර්වල වෙන්න පුළුවන්. නෙට්බෝල්වල වෙන්න පුළුවන්. ක්‍රීඩා‍ව පැත්තෙන් ගත් විට අ‍පි මේ තාවකාලික විසඳුම් ලබා දෙන ආණ්ඩුවක් රටක් බවට පත්වෙලා තියෙනවා. ක්‍රීඩාව පැත්තෙන් මම මේ කථා කරන්නේ. 

මම හිතන්නේ මේ පහුගිය කාලේ තමයි ක්‍රීඩකයා ක්‍රීඩිකාව කියන නමට වැඩියෙන්ම අපහස වුණු කාලය. මම ඒක වගකීමෙන් කියනවා. අවාසනාවට මමත් ඒ ආණ්ඩුවේ ඉන්න කෙනෙක්. මටත් රිදෙනවා ඒවා වෙනකොට. මේවා නවත්වන්න පුළුවන් අපි ඔක්කොම එකට එකතු වුණාම විතරයි. හැබැයි අපි එක්කෙනා වරප්‍රසාද පස්සේ එලවා ගෙන යන්න ගියොත් කවදාවත් අපිට මේක හදාගන්න බැහැ…” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. උළෙල අමතමින් යෝගානන්ද විජේසුන්දර මහතා කියා සිටියේ ක්‍රීඩාවෙන් ජීවත් වන අය ක්‍රීඩාවෙන් ඉවත් නොකරන තාක්කල් ක්‍රීඩාව දියුණු කළ නොහැකි බවයි.

“ලංකාවේ ක්‍රීඩාවෙන් ජීවත්වන සහ ක්‍රීඩාව ජීවත් කරවන කණ්ඩායම් දෙකක් ඉන්නවා. මේ ක්‍රීඩාවෙන් ජීවත් වන කණ්ඩායම හරි බිහිසුණුයි. ඔවුන්ට අණක් ගුණක් නැහැ. ඉන්නේ මේ ඔලිම්පික් දිනුව කෙනෙක්ද නැත්නම් ආසියාව දිනුව කෙනෙක්ද ඒ කිසිම කථාවක් ඒ ගොල්ලන්ට නැහැ. ඒ ගොල්ලන්ට යම්කිසි ගාණක් ලැබෙනවා නම් ක්‍රීඩාව විකුණලා හරි ඒ සල්ලිටික හොයා ගන්නවා. මේක නෙමෙයි ක්‍රීඩා පරිපාලනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි දැන්වත් මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්න අත්‍යවශ්‍යයි. අපි එකට එකතුවෙන්න දන්නවා. නමුත් එකට එකතු වී වැඩ කිරීමේ කලාව අපි දන්නේ නැහැ. 

හොදට මතක තියා ගන්න, එකට එකතුවීම සහ එකට එකතු වී වැඩ කිරීමේ කලාව කියන්නේ එකක් නෙමෙයි දෙකක්. අපිට ක්‍රීඩා ක්ෂේත්‍රයේ කරන්න බැරි දෙයක් නැහැ. කවුද හිතුවේ පැයට කිලෝමීටර් 30කට වඩා වේගයෙන් මිනිස්සු දුවයි කියලා. අද ඔය දුවන්නේ. මුකුත් වෙන්නේ නැහැ. කවුද හිතුවේ අඩි තිහක් ඈතට මිනිස්සුන්ට පනින්න පුළුවන් කියලා. අද ඔය පනින්නේ. ඒ වගේම අඩි හතකට වැඩිය උස පනින්නේ. කිසි ගැටළුවක් නැහැ. මිනිස්සුන්ට මේවා කරන්න පුළුවන්. අවශ්‍ය වන්නේ දැනුම සහ ඒ දැනුම ඉදිරිපත් කරන සන්නිවේදන ක්‍රමය. මේ දෙකෙම අද ගැළපීමක් නැතිවයි අපේ රටේ තියෙන්නේ………” යැයිද යෝගානන්ද විජේසුන්දර මහතා පැවසීය. 

තමන්ට පසුගිය වසර සිත් පීඩා ගෙන දෙන වසරක් වූ බවද ඔහු කියා සිටියේය. “දැන් මගේ ඇස් පෙනීම බොහෝම අඩුයි. නමුත් මම ඒ ගැන කණගාටු වෙන්නේ නැහැ. ඒ තමයි මට ලැබෙන දෙය. නමුත් මට හොඳට ඇහෙනවා. ඇහෙන දේවල් දිහා බැලපුවාම ක්‍රීඩාවට මොනවද වෙන්නේ කියන එක ගැන මට ලොකු ගැටළුවක් තියෙනවා. ක්‍රීඩාව හදන්න නම් අපි එකට එක් විය යුතුයි…” යැයිද යෝගානන්ද විජේසුන්ද මහතා අවධාරණය කළේය.

– තමීර මංජු

No comments:

Post a Comment

Post Bottom Ad